උපුටා ගැනීම මව්බිම ජාතික පුවත් පත 2023-11-27

රත්නපුර ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ හා මාතෘ ළදරු සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා අඛණ්ඩව සුරක්ෂිත ප්‍රතිකාර ලබාදීමට හා කඩිනමින් අවශ්‍ය  සත්කාර ලබාදීම වෙනුවෙන් ආරම්භ වුණු මිණි කැකුළු ළමා දැඩි සත්කාර අරමුදල සමාජගත කිරීම ඉකුත්දා (24දා) රත්නපුර ශික්ෂණ රොහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනූජ රොද්‍රිගෝ, රෝහල් කමිටුවේ සභාපති ඩෙන්සිල් ලියනගේ, විශේෂඥ  ළමා රෝග  වෛද්‍ය කමල් හතලහවත්ත යන අයගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි. මෙම අරමුදල “පිපෙන්නට වෙර දරන මල් කැකුළු රකින්නට එක්ව අත්වැල් බැඳගනිමු” යන තේමාව යටතේ පිහිටුවා ඇත.

මෙම අරමුදල පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රජයේ ප්‍රතිපාදන මත පමණක් සිදුකර ගැනීමට අපහසුව තිබෙන  නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ හා මාතෘ ළදරු සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන් සඳහා ප්‍රතිකාර  හා සේවාවන්  සඳහා අවශ්‍ය මිලෙන් අධික ඔෟෂධ හා උපකරණ  අවශ්‍ය අවස්ථාවලදී කඩිනමින් ලබා ගැනීමයි. මෙහි ප්‍රතිකාර ලබන දරුවකුට නිසි  ප්‍රතිකාර ලබාදී සුවපත් කිරීමට රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය වන බවද, එසේ නිසි ප්‍රතිකාර නිසි වේලාවට ලබා දීමට නොහැකි වුවහොත් එම දරුවන් අකාලයේ මියයන බවද මෙහිදී හෙළි විය. මෙහිදී අදහස් දැක් වූ මෙම අරමුදල පිහිටුවීමේ පුරෝගාමියා වන ළමා රෝග විශේෂඥ  වෛද්‍ය  කමල් හතලහවත්ත මහතා,

රත්නපුරේ අනෙකුත් රෝහල්වල ළමා සත්කාර  ඒකකවල පහසුකම් හා අත්‍යවශ්‍ය ඔෟෂධ ඇතුළු  උපකරණ හිඟකමින් එම රෝහල්වල ළදරුවන් රත්නපුර ශික්ෂණ රෝහලට මාරු කර එවන බව. ඒ අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ මේ සඳහා අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි. නමුත් මේ වන විට තිබෙන අඩුපාඩු හා පහසුකම්වල මදිකම නිසා අපිට අනෙකුත් රෝහල්වලින් එවන දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නොහැකි වන  අවස්ථා තිබෙනවා. බොහෝ අවස්ථාවල එම දරුවන්ට කඩිනම් ප්‍රතිකාර අවශ්‍ය වුවත් අපිට ඒවා සිදුකර ගන්න තිබෙන අපහසුතා නිසා එම ළදරුවන් ආපසු යවන්න සිදුව තිබෙනවා.රෝහල් අධ්‍යක්ෂතුමා සමඟ සාකච්ඡා කර රෝහල් කමිටුව ඇතුළු සියලු දෙනාගේ සහයෝගය හා උපකාර මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය සහිතව මෙම අරමුදල පිහිටුවීමට කටයුතු කළා.

දරුවන්ගේ  හා අපේ වාසනාවට මේ අරමුදල පිහිටුවීමටත් පෙර නොමේරූ  ළදරුවන්ගේ මවුවරු රැඳී සිටින පහසුකම් අවම දරාගත නොහැකි උෂ්ණත්වයක් සහිත වාට්ටුව ප්‍රතිසංස්කරණය කරන්න කිහිපදෙනකු මැදිහත් වුණත් ඒවායේ තව බොහෝ අඩුපාඩු තිබෙනවා.” ලංකා බැංකු රත්නපුර රෝහල් ශාඛාවේ ගිණුම් අංක 91792322  යටතේ මෙම අරමුදල පිහිටුවා ඇති අතර, ඕනෑම අයකුට සිය මූල්‍ය පරිත්‍යාගයන් මෙයට බැර කළ හැකි බවද වෛද්‍යවරයා මෙහිදී පැවැසීය.

මෙහිදී අදහස් දැක් වූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනූජ රොද්‍රිගෝ මහතා පැවැසුවේ, පසුගිය කොඩිඩ් කාලයේදීද රත්නපුර රෝහලට අවශ්‍ය ඔෟෂධ හා උපකරණ ලබා ගැනීමට රත්නපුර ඇතුළු රටේම ජනතාවත්, විදෙස් රටවල ජනතාවත් රුපියල් බිලියනයක පමණ  මුදල් පරිත්‍යාග  කළ බවත්  නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ මවුවරුන්ට රැඳී සිටීමට අපහසු තත්ත්වයේ තිබූ මහමෙවුනා වාට්ටුව නවීකරණය කර විවෘත කිරීමද ප්‍රතිකාර ලබමින් සිටින දරුවකුගේ මවක් විසින් සිදුකෙරිණි. එම වාට්ටුව නවීකරණයට දායකත්වය ලබාදී තිබුණේ් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්ජිනේරුවරයකු ලෙස කටයුතු කරන යොහාන් මාධව මහතායි.

කුරුවිට – කේ.ඒ.එස්.පියතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *